පලා මල්ල
මගේ හිස කෙස්ස ඔක්කොම සුදු වෙලා. රැවුලත් එහෙමයි. ඇහි බැමත් සුදු වේගෙන එනවා.මේ අකලට නෙවේ. මට තියෙන අත් දැකීම් අද කාලේ එකෙකුටවත්, එකියකටවත් නැති බව නම් හොඳටම ෂුවර්.
මට හොඳ මතයක් තිබුණා. ඒත් දැන් නම් ඉතිරි වෙලා තියෙන්නේ අමතක කරන්න අමාරු ඒව විතරයි.
මගෙ තියෙන පැරණිම මතකය මම අපේ අම්මත් එක්ක සුදු ඇන්ටිලාගෙ ගෙදර ගිය එක. අම්මයි මමයි වැල් පාලමකින් එතෙර වෙමින් හිටිය. පොඩි හුළඟක් ඇවිත් මගේ තොප්පිය ගහ ගෙන ගිහින් ගං ඉවුරේ රැඳුනා. අම්මා වටෙන් ගිහින් ඒක මට අරන් දුන්නා.
අපි එයාට සුදු ඇන්ටි කීවේ.. සුදු ඇන්ටි අපේ අම්මගෙ හොඳ මිතුරියක්. තරුණ කාලෙ ලස්සනට ඉන්න ඇති. පස්සෙ ලොකු සල්ලි කාරයෙක් බැන්දා. දරු දෙතුන් දෙනෙක් ලැබුණට පස්සෙ එයාට හමේ රෝගයක් හැදුනා. අර සුදු කබර කියන එක...
තව එකක් තමයි... අපේ සීයා..තාත්තගෙ තාත්ත මගේ ඉනේ තඹ සුරයක් බැන්ද කලු පාට නූලකින්. මම හිටියේ කිසිම ඇඳුමක් ඇඟේ නැතිව. මට එතකොට අවුරුදු දෙක හමාරක් විතර ඇති. මගේ බිරිඳ නම් කියන්නේ ඒ මගේ වෙන මතකයක් වෙන්න ඇති කියල. මොකද එච්චර පොඩි කාලෙ වුනු දෙයක් මතක හිටින්න බැරිලු..
අපේ ගෙදර හැමදාම රණ්ඩු. අම්මයි-තාත්තයි. අතින් පයින් ගහ ගත්තා කියල නම් මට මතක නෑ. කටින්. මට තේරුණේ නෑ ඇයි කියල. ඒක බින්න විවාහයක්. අම්මත් එක්ක වීවාහයෙන් පස්සෙ තාත්තා අම්මලගෙ ගෙදරට පදිංචියට ඇවිත්. බින්න විවාහයක ඇති බරපතලකම මම දැන ගත්තෙ පස්සෙ. මිදුලේ වැවිල තිබුණු තුත්තිරි ගහක්වත් ගලවන්න තාත්තට හයියක් තිබුණේ නෑ.
අම්මට නංගි ලැබුණට පස්සෙ දෙන්නගෙ රණ්ඩු දරුණු අතට හැරුණා. තාත්තා යන්න ගියා. ඇයි යන්නෙ කියල අහන්නවත්, යන්න එපා කියල අඬන්නවත් මගේ හිත මුහුකුරා ගිහින් තිබුණේ නෑ.
අවුරුදු කීපයක් යන තුරු ගෙදර වියදමට කියල මාස් පතා මනි ඕඩරයකින් තාත්තා සල්ලි එව්වා. එදාට අපි පොලට ගිහින් මල්ලක් පිරෙන්න කන බොන ජාති ගෙනාවා. තාත්තා එවූ සල්ලි ඉවර උනාම අම්මා කාටදෝ දෙස් දෙවොල් තියන්න ගත්තා. ඒ තාත්තට . තාත්තා නරක මිනිහෙක් කියන එක මගේ හිතේ ඉබේටම ඇති උනා.
ඉස්සෙල්ලම ගියේ ගමේ ඉස්කෝලෙට. හෝඩියේ පන්තියට. දෙපයට මේස් සපත්තු දාල පිලිවෙලකට හිටියේ මම විතරයි. ඇට්ටර කොල්ලෝ ඉන්ටවල් එකට මගේ සපත්තු පෑගුවා. උන් මට කුණුහරුප කියා දුන්නා.
නංගී අපේ තාත්තගෙ නෙවේලු. විජේකෝන් බණ්ඩා කීවේ. ඌත් මගේ පන්තියේ ළමයෙක්. කටේ ඉස්සරහ තොලයි දත් දෙපේළියයි අතර දුංකුඩු තියා ගන්න නිසා උගේ දත් පේළිය අජූතයි. එහෙම දුංකුඩු තියන උන් වෙනම කල්ලියක්.
මට අවුරුදු දහයක් ඇති. අම්ම අත්තම්මට නංගී බලා ගන්න කියලා, "අද දෙකෙන් එකක්" කියලා මාවත් හොඳට අන්දවා ගෙන ලොකු කුළුණු තියෙන ගොඩනැගිල්ලකට ඇතුලු උනා. තාත්තා එක පැත්තක. අම්මා එක පැත්තක. පන්සලක් වගේ ලොකු ගාම්භීර තැනක්. කවුරුවත් කතා කලේ නැහැ. බුරුල් වී තිබුණු විදුලි පංකාව විතරක් බකල් ගගහ කැරකුනා.
ඒක නඩු අහන තැනක්ලු.උසාවිය කියලලු කියන්නේ.අම්මටයි-තාත්තටයි මාව බෙදා ගන්න ඕන වෙලා. නීතියේ හැටියට මාව අයිති වෙන්නේ අම්මටලු. තාත්තා උසාවියේ කාටදෝ පගාව දීලා. මගේ අයිතිය තාත්තට දෙන්න වගේ ලෑස්තිය මී හරක් අං දෙකක් වගේ උඩු රවුලක් තියෙන කළු ඇඳ ගත්තු මිනිහෙක් ඇවිත් "බබා කැමති තාත්තටද අම්මටද කියල "ඇහුවා.
මට කවුරුවත් එපා. මට මහණ වෙන්න ඕන කියල මම කිව්වලු. ඒක අහල උසාවි ශාලාවේ හිටි ගෑනු කීප දෙනෙක් අඬන්න පටන් ගත්තාලු
Comments
Post a Comment