ලිහුම

මේ ඉන්නේ මම.
උපත: 06.12.1948
විපත:     ?
මගේ විස්තර පසුවට. ඉස්සෙල්ලම කියන්නම් , ඇයි මම මේ බ්ලොගයට "පිස්සාගේ පලා මල්ල" කියල නම තිබ්බේ කියලා..
මා එතරම් උගතෙක් නොවේය. ඒත් ඒ ගැන මගේ හිතේ දුකක්, කම්පාවක් නැත. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා නැත. එහෙත් එතුමා විද්වතෙක්.. ප්‍රාඥයෙක් ලෙස සමාජය විසින් නිතරම හඳුන්වනු ලබයි....
අද වන විට එතුමා හිටියා නම් ආචාර්ය උපාධියක් ලබනවා සිකුරුයි.
මම පට්ට නාකියෙක්.. වෙලාවකට මට හිතෙනවා තවත් ජීවත්ව ඉඳීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියා. මම බෞද්ධයෙක්.. නමට. නිකමටවත් පන්සලකට යන්න හිත් දෙන්නෙ නෑ. ඒත් පූරුවේ පිනකට අනික් පට්ට නාකින්ට තියෙන දහ ජරා ලෙඩ එකක්වත් මට නෑ. ඉඳල හිටල කකුල් කැක්කුමක් හැදෙනව.
කවුරු හරි හිතන්න පුළුවන් මේ වගේ පට්ට නාකියෙක් කොහොමද බ්ලොග් එකක් කරන්නේ කියල..
ඒක උනේ මෙහෙමයි..
මම ගුරුවරයෙක්.. මගේ සිංහළ- සාහිත්‍ය දැනුම ඉහළයි.. මම ඒ කාලේ රිවිරැස-ලංකාදීප වගේ පත්තරවලට ලිවුවා. ඒ එකක්වත් පළ උනේ නෑ.

මම ලියාපු ලියිවිලි සේරෝම පාහේ එක මිටියට ගැට ගහල ඇඳ අස්සෙ පෙට්ටියක දාල තියෙනව. පුච්චල දාන්නත් ලෝබයි. ඒවායේ වටිනාකම දන්නෙ මා නිසා. හැම අකුරක්ම මට වටිනවා.
මගෙ පොඩි දුවගේ ලොකු දුව - මගෙ මිනිපිරීට දවසක් අහු උනා මේ කරදහි මිටිය.
" සීයේ අපි පොතක් ගහමු"
" නෑ.  දැන් පරම්පරාව ඕව කියවන්නෙ නෑ.. උන්ට ඕව තේරුම් ගන්නත් බෑ"
" අපි එහෙනම් බ්ලොග් එකක් පටන් ගම්මු.. සීය ටයිප් කරල දෙන්න.. මම අප්ලෝඩ් කරන්නම්.. කියවන කෙනෙක් කියවයි.."
සජානා.. වයස පහළොවයි. මෑතක් වන තුරුම මාත් එක්ක එකට නිදා ගත්තෙ. මම ඇගෙ ඔලුව කැසුව නින්ද යනකං. පරණ කතන්දර කීව.
කෙල්ල දන්නව මට පැන්ෂන් හම්බ වෙන දවස. එදාට ටිකක් මට ලීලෙ පානව වැඩි.
ඒත් ඔය කෙල්ල විතරයි ඉන්නෙ හිතක් පපුවක් තියෙන එකෙකුට.
අම්මල තාත්තලට කියන්න බැරි වියදමුත් එමට ඇතිනේ ඔය වයසට. මම ඔන්න ඔහෙ කියල ඉල්ලන ගාණක් දීල දානව.

Comments

Popular posts from this blog

එහෙං... මෙහෙං

කාටද පිස්සු?